සිලිලාර ජීවිත | Sililara Jeewitha
Couldn't load pickup availability
“ඝෝෂාට මාව කරදරයක් ද..?”
සුද්දා අයියා ඇසුවේ ඊටත් තප්පර ගණනකට පසුවය. ඒ හඬ බිඳී ගොසිණි. අපේ ඇස් බැල්මන් එකිනෙක හැපිණි. තප්පර ගණනක් අපි එසේ උන්නෙමු.
"නෑ.. නැහ්..”
මම අපහසුවෙන් කීවෙමි. පපුව පැලෙන්නට මෙන් වේදනාවක් එන්නේ මන්දැයි මට නොතේරිණි. සුද්දා අයියාව කිසිදිනක මට කරදරයක් නොවූ බව කියන්නට මට උවමනාය. මුළු ඇඟම දහදියෙන් නැහැවිණි. බියට නොවේ.. නමක් නොතේරෙන අමුතු හැඟීමකටය.
"එහෙනම්.. ම්..?”
ගල් පොත්ත මතින් නැගිට මා අසළට අවුත් සුද්දා අයියා ඇසුවේය.
ඒ පිරිමි හුස්ම මගෙ මුහුණෙ වැදිණි. සුද්දා අයියා ඒ තරමටම මට ළං වී උන්නේය. දැනෙන තිගැස්මට මගෙ ළම වේගයෙන් උස් පහත් විය. උඩු තොලට උඩින් දා බිඳු දැමීමේය.
සුද්දා අයියාගේ බොත්තම් දෙක තුනක් හැර තිබූ සුදු අත් දිග කමීසය තුළින් පෙනෙන හැඩ රෝම ගස් අතගා බලන්නට මට ඒ කළබලයේත් සිතිණි. ඒ අතරට වැටී තිබෙන කළු නූල් මාලයේ පටලා ඇති නැංගුරම ඉඹින්නට සින සිතුවිලි මම අසීරුවෙන් දරා ගත්තෙමි මගෙ ඇස්බෝල ඒ පපුව මතම එහෙ මෙහෙ වෙත්දි සුද්දා අයියා යන්තමට ඔහුගේ කුඩා නැංගුරම මත ඇඟිලි දෙකක් තැබුවේය. ඒ හරියට මම එය ඩැහැ ගනීවි යැයි බියෙන් වගේය. මම සෙමින් හිස ඔස්වා බැලුවෙමි. ඒ කොටි ඇස් මාව පටපිටින් ගිළින්නට මෙන් බලා උන්නේය. මම වේගයෙන් ඇස්තටු ගැසුවෙමි. දෙයිහාමුදුරුවනේ.. සුද්දා අයියා වැඩිකලක් නොගොසින්ම මා උමතු කරවන බව නම් ස්ථීරය.
-සින්දු ඉන්නේ පස්සෙන් යන්න.. ඇයි.. මගෙ පස්සෙන් එන්නේ.. ඇයි හැමදාම ස්කොලෙ ගාව මුර කරන්නේ..?”
මම ඒ කොටි ඇස් දෙස බලාගෙනම ඇසුවෙමි. එතරම් ධෛර්යයක් මට තිබෙන බව මාද නොදැන උන්නෙමි. මගෙ කියවිල්ලට සුද්දා අයියාගෙ කට කොණක් සෙලවිණි. යන්තමට ඒ රෝස පැහැ යටි තොල කෙලවරින් සැපිණි. එතකින් නොනැවතී ඔහු ගෙල මදක් ඉවතට හරවා සිනහාව සිර කර ගත්තේය.

