නුඹ තාම මං නමින් | Numba Thama Man Namin
Couldn't load pickup availability
ඒක නිකන් එකටම දිනුම් කණුව ළඟට දිව්ව දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ගෙ එක තත්පරේක පමාවෙන් අනිකා ඉස්සර උනා වගේ වැඩක් තමයි වුණේ. කැලුම් හිතන්න ගත්තා... ශාක්ය මහත්තයා ලබාගෙන පස්සේ හිතන්න ගත්තා....ඒකෙන් කැලුම් පැරදුණා...
" කැලුම් හැමදාම කළේ ඕක තමයි. චාපා හැමදේම අනාගන්නවා ... කැලුම් හිතන්නෙ එයා ගැන... එයාගේ පවුල ගැන.... ඒ හැමදේම හිතලා ඉවර වෙලා තමයි උඹ ගැන හිතන්නෙ... ඒත් ශාක්ය මහත්තයා ඉස්සෙල්ලා හිතුවේ උඹ ගැන... උඹේ අසරණකම... ඉස්සෙල්ලාම උන් උඹට කරන අපහාසවලින් එයා උඹව බේර ගත්තා... එයා හිතුවේ උඹ ගැන විතරයි... කැලුම් කලන්තලා මඩ කරපු වතුර ටික ශාක්ය මහත්තයා මිදෙන්න දුන්නා... හරියට මේ ළිඳ වගේ... දැන් බලපං ළිඳ දිහා. බාල්දිය පැහැදිලිව තියෙනවා නේද?"
ලසා ළිඳට නැමී කියද්දී මං ළිඳ තුළට නැමුණෙමි.
"කැලුම් මහත්තයා බැලුවේ බාල්දිය දාලා ළිඳ කලත්තලා කලත්තලා, මඩ කරලා, බාල්දිය නැ කියලා වෙන බාල්දියක් ගන්න... ඒත් ශාක්ය මහත්තයා කළේ කැලුම් එයාගෙ අම්මත් එක්ක එකතු වෙලා ළිඳට දාලා, ළිඳ මඩ කරලා පතුලේ හංගපු බාල්දිය මඩ මිදෙන්න තියලා පැහැදිලි කරපු එක විතරයි.... ඒක කැලුම්ටත් කරන්න තිබුණා. ඒත් එයාගෙ හිතෙන් හාමිනේගේ වගේම, උඹ එයාගේ ගෙදර වැඩකාරිගේ දුව කියන මතේ තියෙනවා... අම්මා පිට දාලා ඌ ඒකෙන් හැංගෙනවා... ඌ උඩ පැන පැන උඹ ව තළනවා. උඹට ඒක තේරෙන්නෙ නෑ. ඌ හැමදාම හැමදෙයක්ම කරලා අන්තිමට උඹ ළඟ හොඳ මිනිසා වෙනවා...උඹත් මේ බාල්දිය වගේ. උඹම තීරණය කරපන් බාල්දිය ගොඩ ගන්නවද, නැත්නම් ළිඳ යටම මලකඩ කාලා දිරන්න දෙනවද කියලා..."

