ඉන්ඩිගෝ | Indigo
Couldn't load pickup availability
මම බොහෝ දුර තනිව ඇව්ද ගොස් ඇත්තෙමි. ආපසු හැරෙන්නට නොහැකි තරමට ම පාළුවෙත් තනිකමේත් සර්පයින් මගේ සර්වාංගය ගිල දමා ඇත.
මේ පාළුව සැනසීමක් සේ සිතන්නට මගේ සිරුර දැන් මා විසින් ම ඇණ ගසා ප්‍රදර්ශනයට සවි කොට අවසන් ය...
ප්‍රේමය යනු කුමක්දැයි මම දැන් සිතමි. කාලය අපට නියම මාර්ගවල පිවිසුම් හැර දී බලා සිටියි. ජීවිතය නැමති රථය මාර්ග සංඥා ඔස්සේ නිවැරදි ව ගෙන යාම වගකීමක් බව දැනගෙන සිටියත් මේ මාර්ගවලදී අප ඕනෑ තරම් රිය අනතුරු වලට මුහුණ දී ඇත.
මගේ ජීවිතය තුළ නියමයන් හෝ නියාමකයින් වූයේ නැත. තිබුණේ අත්දැකීම් තුළින් ඉදිරියට යෑමේ සහ අහිමිවීම්වලත් රිදීම්වලත් බර පමණි.
ආපසු හැරී බලද්දී ජිවිතය ඇතුළේ ගත් තීරණ සියල්ල ම වැරදි ගිය බව වැටහෙයි. නමුත් එහෙමයි කියා ඊළඟ තත්පරය මා අත් හැරීය යුතුද නැත. යළි කිසි දිනෙක ජීවිතයට වැරදීම්වලට දැන දැන ඉඩ හදා දිය යුතුද නැත.
ඔබ කෙසේ කීවත් මම යළි ආලංකාරිකව උපන්නෙමි.
මල්බෙරිවලට රැවටී වැඩුණු පටපණුවන් දසදහස් ගණනක් තම ජීවිතය දී සොඳුරු නිර්මාණයක නිර්මාණකයින් වූ දෙස ප්‍රභාත නම් වූ තාත්තා වේදනාව අත් හැර සාමකාමී දෑසකින් බලා සිටින්නා සේ මමද මගේ ජීවිතය දෙස බලා සිටීමි.
අම්මා යනු මහා සාගරයෙහි දී මුදුබත් වූ නෞකාවක් පමණි. තාත්තා මදහසක් නගාගත් ප්ලිම්සෝල් රේඛාවයි.
මා ඒ විසල් සාගරයෙහි මංමුළා වූ චන්ද්‍ර කිත්තරාවයි.
සාගරය, රැළිති නගමින් බිඳිමිත් අම්මාගේ රූපය අඳියි.
මුදු කැවසය නිල් පැහැ නොගෙන රතු රුධිරයෙන් වර්ණ ගැන්වෙනු මට පෙනෙයි.

