ඩගී | Duggy
Couldn't load pickup availability
අරුණි මුතුමලී 90 දශකයේදී ටීවිටී (ද වීඩියෝ ටීම්) ආයතනයේ කලක් මා යටතේ සහාය අධ්යක්ෂවරියක් ලෙස කටයුතු කරමින් වෘත්තීය ජීවිතය අරඹා පසුව මුද්‍රිත මාධ්යවේදය සාර්ථක ලෙස තම ජීවන වෘත්තිය බවට පත් කර ගත් විද්වතියකි. ලක්වීම පුවත්පතෙන් මුද්‍රිත මාධ්ය කලාවට පිවිස ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ මාධ්යවේදිනියක ලෙසද පසුව 'සරසවිය' පුවත්පතේ නියෝජ්ය කතුවරියක ලෙස ද කලක් තම හැකියාව දැක්වූ ඇය අද සුබසෙත' පුවත්පතේ ප්‍රධාන කතුවරය ලෙස කටයුතු කරමින් ජෝතිශ්යට සහ ආයුර්වේදයට පමණක් සීමා කර තිබුණු එම පුවත්පත ස්වභාව ධර්මය සහ සමාජය වඩාත් ආවරණය වන පුළුල් පරාසයක ඥාන ප්රකාශනයක් ලෙස වැඩිදියුණු වූ නව මුහුණුවරකින් ජනප්‍රිය තලයකට ගෙන එන්නට සමත් වී ඇත. ඒ සියල්ල තුළින් ලැබූ පුළුල් දැනුම සහ අත්දැකීම් ප්රයෝජනයට ගනිමින් මෙලෙස ඇය නීතිඥ ඩග්ලස් සිරිවර්ධන ප්‍රවීණ නාට්යකරුවාගේ ජීවිතය විනිවිද දකිමින් එම ජීවිතය රසික සංග්රහයක් ලෙස රසවත් කොට පොතක් ලෙස මෙසේ එළිදක්වයි.
කලාකරුවෙකුගේ හැදෑරීම්, ඔහු විඳි සුඛ දුක්ඛ වේදනා, අත්දැකීම් සහ ඔහුගේ ජීවන අරගලය හා නිර්මාණ කාර්යය එම කලාකරුවා කියන එපරිද්දෙන්ම තේරුම් ගැනීම සහ වින්දනය කර ගැනීම තවත් කෙනෙකුට දුෂ්කර කාර්යයකි. ඒ සඳහා සංවේදී සහ අවංක හදවතක් මෙන්ම පරිකල්පන විභවයක් තිබෙන අයෙකු ඒ කාර්යය භාර ගත යුතුය. එසේ නොවූ විට එයින් ඕලාරික වූ චරිත රචනයක් පමණක් ලියැවෙනු ඇත. නමුත් මැය, අපූර්ව නිර්මාණ සමුච්ඡයක් බිහි කිරීමෙන් නොනැවතී ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ නිරිත වන තුන් පරපුරක් බිහි කිරීමට ඉමහත් කැපවීමක් කළ ඩග්ලස් සිරිවර්ධන නාට්‍ය කලාකරුවාගේ සම්පූර්ණ ජීවිතය තමන්ගේම ස්වීය පරිණත නිර්මාණයක් ලෙස රසවත් කොට මේ පොතෙන් විදුරණය කර දක්වයි.

